සුරගුරු හෙවත් බ‍්‍රහස්පතිගේ (ගුරුගේ) අපලයට ශාන්තිකර්ම.. 

සුරගුරු හෙවත් බ‍්‍රහස්පතිගේ (ගුරුගේ) අපලයට ශාන්තිකර්ම.. 

ගුරුගෙන ඇතිවන ලෙඩ රෝග ලෙස අක්මාවෙ දෝෂ, රුධිර වහනය, රුධිරගත ආබාධ, හදිසියේ ඇතිවන හෘදයාබාධ, රුධිරයේ ඇති සීනි ප‍්‍රමාණයේ පහත වැටීම, මේද නිපදවීම ඇණසිටීම, පිත් ධාතුව දූෂිත වීම ප‍්‍රධාන තැනක් උසුලයි.
එමෙන්ම ගුරුගේ බලපෑමට ලක්වන අක්මාවෙ ක‍්‍රියාකාරීත්වය දුර්වල වේ. රුධිරවාහිනී පද්ධතිය ද මොළයේ වම් පැත්තේ හෝමෝන උත්පාදනය වැනි කාරණා දුර්වලත්වයට පත් කරයි.

ඉහත සඳහන් අපලකාරී තත්වයන් මර්ධනය කර ගැනීම සඳහා ජ්‍යොතීර්විද්‍යාවේ ඇතුලත් ශාන්තිකර්ම අනුගමනය කර පිහිට පැතිය යුතු ය.

01. අපලකරුගේ කේන්දරය පුද්ගලිකව පරීක්ෂා කරවා එහි බලවත්ම ග‍්‍රහයා තවදුරටත් බලවත් කිරීමේ න්‍යාය අනුගමනය කරමින් එම ග‍්‍රහයාට අදාල මැණික ඇතුලත් රනින්, රිදියෙන් හෝ ග‍්‍රහයාට අයත් ලෝහයෙන් මුදුවක් සාදා එම ග‍්‍රහයාට මිතුරු ඇඟිල්ලේ පැළඳිය යුතු ය.

02. මණ්ඩල සීලම්බරය, ගුරු පංජරය, නාරහිංහ යන්ත‍්‍රය, නවගුණය, නවග‍්‍රහ හා රතන යන්ත‍්‍රය හෝ මාතාංගේෂ්වරී යන්ත‍්‍රය යන යන්ත‍්‍රවලින් එක් යන්ත‍්‍රයක් නිසි බල පිහිටුවා දක්ෂ ගුප්ත ශ‍්‍රාස්ත‍්‍රඥයෙකු සොයා ජීවම් කර කරට හෝ ඉණට පැළඳවීම.

03. ගුරුගේ අපලයට අදාලව ඖෂධීය ජලය ස්නානය කරන්න. වැල්මී. කලාඳුරු අල, එළ අබ, දෑසමන්, බෝලියද්ද මල් සමව ගෙන තම්බා එම ඖෂධීය ජලය සාමාන්‍ය ජලයට මිශ‍්‍ර කර ස්නානය කරන්න.

04. ශ‍්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් භාර හාර වී නිසි පුද සත්කාර තබා නිසි බල පිහිටුවන ලද සෙත්කවි හෝ ප‍්‍රාණකවි හෝ ගායනා කර පිහිට පතන්න.

05. රාත‍්‍රී නින්දට පෙර ගුරු ස්තෝත‍්‍රය හැකි වාර ගණනක් ගායනා කරන්න.

දේවතානංච සෘෂිනාංච – ගුරුං කාංචන සන්නිහම

බුද්ධි භූතං තිලොකශ්‍ය තං නමාමි බෘහස්පතිම්

06. ගුරු හෙවත් බ‍්‍රහස්පතීට පූජව තබන්න.

අමුකහ, කිතුල් හකුරු, කඩල පරිප්පු රන් ආලේප කළ අශ්ව රූපයක් කහපාට රෙදි රියනක් සහත පළතුරු 7 වර්ගයකින් සමන්විත පූජාවට්ටියක් පිළියෙල කර, බෝ වෘක්‍ෂයක් පාමුල හොඳින් පිරිසිදු කර එහි ඊසාන පත්තේ ඇති ආසනයක ඉහත සඳහන් පූජා වට්ටිය තබා ගුරු සුවඳ ධූපයෙන් දුම් දී ගුරු යාදින්න කියවන්න. මෙය බ‍්‍රහස්පදින්දා දිනයක ගුරු හෝරාවෙන් කළ යුතු අතර ජ්‍යොතිෂවේදියෙකු ලවා පුද්ගලිව හඳහන පරීක්‍ෂා කර තමන්ට සීහෙන නැකතක් පවතින දිනයක සිදුකල හැකි නම්, ප‍්‍රථිපල ප‍්‍රබල කරගත හැක.
x ගුරු සුවඳ ධූපය යනු කොකුම්, රත්හඳුන් හා සුදු හඳුන් ඉඹුල් මැලියම මිශ‍්‍රණයයි.
x ගුරු යාදින්න සිංහලෙන් –
ස්වර්ණවර්ණ වූ ස්වරණ මාලාම්බරධාරී වූ ස්වරණ ගන්ධානුලේපන සහිත වූ ස්වර්ණාශ්වයන් හා රන්සත්, රන්දද, රන් පතාකදී වූ සකල ආශ්චර්යයෙන් හෙබියා වූ වාචස්පති වූ බ‍්‍රහස්පති, ග‍්‍රහ මණ්ඩලයට අධිපති ශක‍්‍ර දේවේන්ද්‍රයනට කසාවත් මල් පහන් පුදමි. කොකුම් මල් සුවඳ දෙමි. ඉමහත් බැතිපෙම් උපදවා නිබඳ කෙරෙන මේ මාගේ අසමසම අනෝපම පූජාව සුපිළිගෙන ගුරුගේ මහ දශාවෙන් හෝ අතුරු දශාවෙන් හෝ ගුරුගේ අනිටු යෝගයකින් හෝ සිදුවී ඇති  බලවත් විපතක් වේනම් එ් හැම නොපමාව දූරිභූත කොට දිගාකල් ආයුෂ ලබාදී සදා සුව ලබා දෙන සේක්වායි! ලෝක පාලනය කරන ඉන්ද්‍රාදී සකල දිව්‍ය සමූහයාගෙන් භක්තියෙන් යුතුව සාදරයෙන් ඉල්ලා සිටිමි.

07. පෙරවරු කාලයේ ධ්‍යන්‍ය වර්ග සහිත ආහාරයක්, ඖෂධ, දැහැත් සහ කහපාට මල් බෝ සමිඳුන් වෙත පුදා ආගමික වතාවත් කර රතන සූත‍්‍ර 9 වරක් කියවන්න. මෙය පිළිවෙලින් දන 9 ක් කළ යුතු යි. ආගමික වාතාවත් වලින් පසු පහත සඳහන් කවිය නම වතාවක් ගායනා කරන්න.

ඇස් හිස් මස් ලේ දන් දී පෙරද

පෙරුවන් බලයෙන් මරුවන් පරදා

ලෝක විදු ගුණ තිලොවට විහිදා

ගුරු ග‍්‍රහ අපලය දුරලන් සැමදා

08. එමෙන්ම අපලා දයකයා බ‍්‍රහස්පතින්දා දිනයක සිල්පත් භික්‍ෂූන් වහන්සේ නමකට දානයක් දී පිරිකරක් පූජාකර දෙවියන්ට පින් අනුමෝදම් කරන්න.

ඉහත දක්වා ඇති ආකාරයට ඔබ ගුරු ග‍්‍රහයාගෙන් සිදුවන අපල සඳහා ශාන්ති කර්ම කොට පිහිට ලබාගන්න. ඔබ සැමට තිසරණ සරණින් සියලූ ග‍්‍රහ අපල දුරුවී සිරිසෙත ලඟාවේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *