නිසි ලෙස පළඳින මැණික ජීවිතයට රන් රුවනකි.

නිසි ලෙස පළඳින මැණික ජීවිතයට රන් රුවනකි.

“වර්තමාන ජන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී යම් යම් පුද්ගලයන් විවිධ වූ ප්‍රශ්න හා ගැටළු වලින් පීඩාවට පත්වී සිටිනවා. අනේක විද වූ වූ රෝගාබාධ, කරදර, ආර්ථීක ප්‍රශ්න, කෙනෙකුට කොතරම් ආදායම තිබුනත් ඉතිරියක් නෑ, විවාහ හා විවාහ ප්‍රමාද වීමේ ගැටළු, දරුඵල පිළිබඳ ප්‍රශ්න, දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, ගේ දොර ගැටළු, අනියම් සබඳතා නිසා පැන නගින ප්‍රශ්න වගේම මෙකී නොකී දහසකුත් එකක් ප්‍රශ්න මැද වර්තමාන මිනිසා ජීවිතය ගෙවනු ලබනවා. නමුත් සමාජයේ එක්තරා පිරිසකට එවැනි ගැටළු හා ප්‍රශ්න පැන නගින්නේ නැහැ. ඔවුන් ඉතා සාර්ථකව ජීවිතය ගතකරනවා. ඉතින් මේ සියල්ලටම හේතුව ලෙස අප ජ්‍යොතීෂයේදී දකිනවා පෙර භවයේ කරන ලද අකුසල් (පව්) හේතුවෙන් ඒ සම්භන්ධව ක්‍රියාකරන ග්‍රහයන් දුර්වල වීම හේතුවෙන් මේ තත්වය උදාවූ බව. එසේ නම් මේ අපල දුරු කර ග්‍රහ ශක්තිය වැඩි කර ගැනීමේ එක් විකල්පයක් තමයි අදාල ග්‍රහයාට අයත් මැණික් පැළඳීම.”
යම් ජන්මියෙකු මොලොව ජනිත වන අවස්ථාවේ මේ පෘථීවි තලයේ නැගෙනහිර ක්ෂිතිජයේ පායන ග්‍රහ තාරකා පදනම් කර ගනිමින් යම් නක්ෂාත්‍ර ගණිත ක්‍රමයකට ගොඩනගන ජන්ම පත්‍රය තුල ඔහුගේ හෝ ඇයගේ  අතීතය, වර්තමානය, හා අනාගතය සටහන් වී තිබෙනවා. ඉතින් අපි ජ්‍යොතිෂය තුලින් කතා කරන්නේ මේ  විශ්වයේ ඇති සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි නවග්‍රහයන්, දොලොස් රාශින්, හා නැකැත් විසි හත පදනම් කර ගනිමින් යම් ජන්මියෙකු පූර්ව ආත්ම භාවයන් වල සිදුකර ඇති කුසල් අකුසල් පිළිබඳවයි. එම අකුසල් හෙවත් පව් හේතු කොට ගෙන කෙනෙකුට මොලොවදී සිදුවන අපලයන් උදෙසා ප්‍රතිකර්ම වශයෙන් අපි විවිධ ශාන්ති කර්ම භාවිතා  කරනවා. ඒ වගේම මෙම මැණික් වල ඇති ශක්තියත් උපයෝගී කර ගනු ලබනවා. ඒ වගේම ඉතාම පැහැදිලි සම්භන්ධතාවක් ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් මැණික් අතරත් පවතිනවා.
එය තවදුරටත් පැහැදිලි කළොත් මැණික් යනු අසීමිත විශ්ව ශක්තියක් ගබඩා කරගත්, පෘථීවියේ උපදින දුර්ලභ ගල් හෙවත් පාෂාන විශේෂයක් වන අතර අතිශයින් බලවත් හා ඉතා මිල අධික ඒ වගේම අති විශේෂ අලංකාර පාෂාන විශේෂයක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. මැණික් හා ග්‍රහයන් අතර තිබෙන සම්භන්ධය ඉතාම  පුළුල් සම්භන්ධයකි. ජ්‍යොතිෂ විද්‍යාව ගොඩනැගිලා තියෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය හා විශ්වයේ පවත්නා වූ ග්‍රහ වස්තු පදනම් කරගෙනය. ඒ වගේම මේ විශ්වයේ ඇති පංච මහා භූතයන්ගේ විවිධාකාර වූ බලපෑම් හෝ ආකර්ෂණය මත මිනිස් චින්තනය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සකල ජීවීන්ගේ මේ භෞතික ශරීරය ගොඩනැගෙන්නේ පංච මහා භූතයන්ගේ සංයෝගයෙන්. ඉතින් මෙම භූත සංයෝග කොටස් කෙරෙහි විශ්වයේ පවත්නා ග්‍රහයින්ගේ ආකර්ශනය හා සම්භන්ධතාවයන් විවිධ වෙනවා. අප ජීවත් වෙන මේ පෘථීවි ගෝලයේ මතුපිට මෙන්ම අභ්‍යන්තරයේ භෞතික ගණයේ වූ විවිධාකාර ඛනිජ ලෝහ වර්ග රාශියක් තිබෙනවා. ඒ ඛනිජ ලෝහ  වර්ග කෙරෙහි සෞරග්‍රහයින්ගේ බැඳීම් හා බලපැවැත්වීම් තිබෙනවා. ඒ අනුව එම බලය අනුව පුද්ගලයා කෙරෙහි බලපවත්වන ග්‍රහ තත්වයන් වෙනස් කර ගැනීමට අප විසින් විවිධාකාරයේ ඒ ඛනිජ ලෝහ වර්ග හෙවත් මැණික් පළදිනු ලබනවා. මැණික් වලට අපල දුරුකිරීමේ අසීමිත බලයක් තිබෙන අතර ග්‍රහයන්ගේ ආකර්ශන ශක්තිය හා ග්‍රහ බලය වැඩි කිරීමේ අසීමිත ශක්තියක්ද තිබෙනවා. ජ්‍යොතිෂයේදී අපට වේදීය මැණික් ප්‍රතිකාර ක්‍රමය මගින් යම් යම් ග්‍රහ අපල සඳහා පිළියමක් ලෙස මැණික් පැළදීම නිර්දේශ කරන්න පුළුවන්.
අපල අවස්ථාවකදී අප විසින් පැළදිය යුත්තේ අපල කරණ ග්‍රහයාට අයත් මැණික නොව අපට වඩාත්ම සුබ හා බලවත්ම ග්‍රහයාගේ මැණිකයි.
ඉහත දැක්වූ කාරණය තව දුරටත් පැහැදිලි කළොත් මේ කරණය අපේ බොහෝ දෙනා වරදවාගෙන තිබෙනවා. අපල කරණ ග්‍රහයාට අයත් මැණික් පැළදීම අතිශය වැරදි ක්‍රම වේදයක්. ඉපැරණි වේද ග්‍රන්ථ වන ගරුඬ පුරාණය, අග්නි පුරාණය, මනිමාලාව යන ග්‍රන්ථ වල ඉතා පැහැදිලිව මේ මැණික් හා ඒවා පළදින ආකාරය පිළිබඳව දක්වා තිබෙනවා. ඒ වගේම ඈත අතීතයේ රාවණා රජු දවස පවා අප රටේ ජනතාව තම ගැටළු වලට පිළියම් ලෙස මෙම මැණික් පැළදීම සිදු කර තිබෙනවා. මේ පිළිබඳව පුරාණ සාක්ෂි රාශියක් තිබෙනවා. මැණික් වර්ග පැළඳීමේ  දී ඉතාමත් කල්පනාකාරී විය යුතු වෙනවා. තමන්ගේ ජන්ම පත්‍රයට අනුව බලවත් සුබ හා ජයග්‍රහී සුබපල දෙන ග්‍රහයා විමසා බලා එම ග්‍රහයාට හිමි මැණික් පැළඳීම ඉතාම සුබ දායක වෙනවා.
එම කාරණය තවදුරටත් පැහැදිලි කරණවානම්ි ජ්‍යොතිෂටය අනුව යම් ග්‍රහයෙකු වෙතින් නිකුත් කෙරෙන කිරණ ශක්තිය හා වර්ණ භූත දිශා යන බලයන්ට සමාන බලයක් මැණික් ගල් වෙතින්ද නිකුත් වෙනවා. මැණිකට වැටෙන හිරු රශ්මිය ඒ තුලින් පරාවර්ථනය වීමෙන් මම ඉහත සඳහන් කල ශක්තීන් (කිරණ ශක්තිය හා වර්ණ භූත දිශා යන ශක්තීන්) මිනිස් සිරුරට ලැබෙනවා. ඒ අනුව අප මැණික් ගල් පැළඳීමෙන් සිදුවන්නේ එම අදාල ග්‍රහයාට අයත් බලය හා ශක්තිය වැඩිකර ගැනීමයි. එසේනම් යම් ජන්මියෙකුට අපල අවස්ථාවකදී අපලකාරක ග්‍රහයා බලවත් කිරීමෙන් සිදුවන්නේ එම අපල කාරක ග්‍රහයාගේ බලය තවත් වැඩිවීම තුලින් පුද්ගලයාගේ අපල තත්වය තව දුරටත් වැඩිවීමයි. එහෙත් අපල අවස්ථාවකදී අප කල යුත්තේ අපල කාරක ග්‍රහයාගේ බලය අඩුකරමින් එම අසුබ පල අඩුකර ගැනීමයි.
නවග්‍රහයන්ට අදාල මැණික් අතර රවි ග්‍රහයාට රතු කැට හා පද්ම රාග, සඳු ග්‍රහයාට මුතු හා පූණක්කම්, කුජ ග්‍රහයාට කොරල් හා වෛදූර්ය (රතු මැණික්), බුධ ග්‍රහයාට පච්ච ගල් හා තෝරමල්ලි, ගුරු හෙවත් බ්‍රහස්පති  ග්‍රහයාට පඩියන් හා රත්න පුෂ්පරාග, සිකුරු හෙවත් ශූක්‍ර ග්‍රහයාට දියමන්ති, සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාට කාකනිල, රාහු ග්‍රහයාට ගෝමේද හා අගස්ති, කේතු ග්‍රහයාට වෛරෝඩි හා නිල් මැණික් යන මැණික් වර්ග අදාල  වේ. ශරීරයට ස්පර්ශ වන ලෙස පැළඳීම අත්‍යාවශය කාරණයක් වෙනවා. එය පළඳීමේදී රන් හෝ රිදී හෝ වටිනා ලෝහයකින් තැනූ මුඳුවක් හෝ මාලයක් ලෙස පැළඳීම ඉතාම හොදයි. පළඳින ලෝහ වර්ගත් ජන්ම පත්‍රයේ ග්‍රහ  අපල අනුව වෙනස් වන අතර ඒ ලෝහ වර්ග අදාල ජන්ම පත්‍ර අනුව තෝරා ගත යුතුයි.
මැණික් පැළඳීමේදී අනුගමනය කල යුතු තවත් කරුනු අතර අපි මැණික් පැළඳීමේදී නිසි අවබෝධයකින්  යුතුව එය ඉටු කල යුතුයි. ඒ වගේම තමාගේ ජන්ම පත්‍රය උගත් ජ්‍යොතිෂවේදියෙකුගේ නිසි පරීක්ෂාවකින් අනතුරුව තමාගේ ග්‍රහ අපල හා මා ඉහත දැක්වූ ජන්ම පත්‍රයේ තමාට සුබ ග්‍රහයින් තෝරාගෙන කලයුතු වෙනවා. ඒ වගේම  තමා පළඳින අදාල ග්‍රහයාට හිමි මැණික් ගල නොයිඳුල් හා දෝෂ රහිත විය යුතුයි. මැණික අදාල ගල් වර්ගයම  විය යුතු අතර එය පුළුස්සා නොතිබිය යුතු වෙනවා. මැණික් පැළඳීමේදී ඒ ඒ වර්ග අනුව අදාල අඟිල්ල මෙන්ම  එකිනෙකට විරුද්ධ ගල් පිළිබඳවද අවබෝධයක් තිබිය යුතු වෙනවා. අනිවාර්යෙන්ම මැණික් පැළඳිය යුත්තේ ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුව නිසි ජ්‍යොතිෂවේදී උපදෙස් අනුවමයි. මාසවලට දින වලට හා උපන් දිනයට අදාලවත් මැණික් පළඳිනු ලබනවා.
නවරත්න ලෙස හඳුන්වන්නේ ග්‍රහයන් නව දෙනාට අදාල මැණික් ගල් නවයයි. ඒ වගේම රනින් තැනවූ නවරත්න මුදුවකට ඉතා කුඩා නවරත්නයක් හෙවත් මැණික් ගල් නවයක් ඔබ්බවා තනන මුද්ද නවරත්න මුදුව ලෙස හඳුන්වනවා. නමුත් නවරත්න මුදුවක් පැළඳීමේදී අදාල ජ්‍යොතිෂ උපදෙස් අනුගමනය කල යුතුයි. ඒ වගේම  රෝගාබාධ හා චර්ම රෝග සඳහාත් මැණික් ඉතාම සුදුසු වන අතර චර්ම රෝග වලට වෛරෝඩි ද ආදී වශයෙන් විවිධ රෝගාබාධ සඳහා මැණික් වර්ග වලින් සහනයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙයින්  පැහැදිලි වෙන්නේ මැණික් ග්‍රහ අපල සඳහා අතිශයින් වැදගත් වන බවයි. ඒසේ නම් මැණික් යනු අතිශයින්ම වටිනා මැණිකකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *